රිවිදින අරුණැල්ලේ අතීතය

රූපවාහිනී මාධ්‍ය කලාව ප්‍රායෝගික හා සුභදායක දිශාවන් කරා ගමන් කළ නව සංකල්පයෙන් 2002 වසරේ මැද භාගයේදී ඉස්මතු විය. එය රූපවාහිනී අසිරිමත් ගෙවත්තයි. මෙම වැඩසටහන ආරම්භ වුයේ ජාතික රූපවාහිනියේ නුගසෙවණ නම් වූ උදා විකාශන වැඩසටහන තුළින්ය.

දෘශ්‍ය මාධ්‍ය නාලිකා තුළ නොවැදගත් කාලයක් ලෙස සලකුණු වූ උදය වරුව මිළ අධික අගනා විකාශ කාලයක් බවට පත්කළ වැඩසටහන නුගසෙවණයි. එය රූපවාහිනී ක්‍ෂෙත්‍රයට නව සංකල්පයක් හදුන්වා දුන් පුරෝගාමී වැඩසටහනක් ලෙස හැඳින්විය හැක. ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය තදින් බැඳගත් වැඩසටහනක් බවට පත්වු නුග සෙවණ තුළ අසිරිමත් ගෙවත්තට හිමි වුයේ අද්විතිය ස්ථානයකි. නුගසෙවණ තුළ තිබු සිමිත විකාශන ඉඩකඩ ප්‍රේක්ෂකයින්ගේ අවශ්‍යතාවයට සරිලන පුළුල් අවකාශයක් නොතිබුණ බැවින් එය වෙනම වැඩසටහනක් ලෙස ඉරිදා උදේ 7.30ට රිවිදින අරුණල්ල නමින් නිෂ්පාදනය විය.

විවේකය එලදායි හා අර්ථවත් එකක් බවට පත්කරවමින් තමාගේම ගෙවත්තක් තනාගැනීමට ජනතාව පොළඹවන රූපවාහිනී වැඩසටහනක් ලෙස, ඉරිදා උදේ 7.30ට විකාශය කිරිම තුළින් එය තවදුරටත් ජනතා ආකර්ෂණය දිනාගත් වැඩසටහනක් බවට පත්විය.

රූපවාහිනී පරිශ්‍රය තුළ තනා ඇති ගෙවත්තක ආදර්ශය පසුබිම් කර ගනිමින් ගෙවතු වගාවේ සාර්ථකත්වයට තුඩු දෙන දැනුම හා ආකල්ප වර්ධනය ඇති කරවන පරිදි කෘෂි විද්‍යාඥවරයකු වූ උදය ද සිල්වා මහතා ප්‍රධාන කොට නිවේදිකාවකගේද සහය ඇතිව වැඩසටහන නිර්මාණය වේ.

ප්‍රථම වතාවට මාධ්‍ය ආයතනයක සජීවි ගෙවතු පරිශ්‍රයක් නිර්මාණය වූයේ අසිරිමත් ගෙවත්ත සඳහාය. එය මේ වනවිට “ රිවිදින අරුණැල්ල“ වැඩසටහන සදහා ඉතා සක්‍රීයව සාරවත් ගෙවත්තක් බවට පත්කරගෙන තිබේ.

වස විසෙන් තොර ආහාර වේලක් තමාගේ ගෙවත්ත තුළින්ම ලබා ගැනීමට ජනතාව යොමු කරන රිවිදින අරුණැල්ල කාබනික පොහොර භාවිතය හා ස්වභාවික පළිබෝධ මර්ධනය හා උපක්‍රම පිළිබද දැනුවත් කරයි. මේ වන විට මෙම වැඩසටහන් මාලාව හරහා දුර්ලභ ගණයේ භෝග විශාල ප්‍රමාණයක් ප්‍රේක්‍ෂකයන් විසින් පරිත්‍යාග කර ඇති අතර එම බෝග ව්‍යාප්ත කිරීමට කටයුතු සිදුකර ඇත.

ඉරිදා උදය වරුවේ විකාශය වීම තුළින් විවිධ වෘත්තිකයන් මෙම වැඩසටහන වටා රොක් විය. වෛද්‍යවරුන්/ඉංජිනේරුවන් ආදී රජයේ පරිපාලන නිලධාරීන් සෞඛ්‍යයට හිතකර ව්‍යායාමයටත් නිවසේ පරිභෝජනයට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමටත් තම ගෙවත්ත උපයෝගී කර ගැනීමට ඔවුන්ට හැකිවී ඇත. කඩපිලේ ගනුදෙනුව අවමකර ගැනීමට හැකි වීම නිසා තම ආර්ථිකය ඉහළ නංවා ගැනීමට මෙම වැඩසටහන පිටිවහලක් වී ඇත.

රිවිදින අරුණැල්ල වැඩසටහනේ තේමා සංකල්පය තව දුරටත් ජනගත කොට ගෙවතු වගා සංකල්පය පුළුල් ප්‍රචාරයක් ලබාදීමේ අරමුණෙන් තවත් වැඩසටහන් මාලාවක් නිෂ්පාදන විය. එය “රන් අස්වනු මංගල්‍යයයි. මෙහි තේමා පාඨය වුයේ “ස්වයංපෝෂිත දේශයකට රූප මාධ්‍යයේ පෙරගමන්කරු යන්නයි“. මෙය ගෙවතු වගා තරගාවලියක ස්වරූපයෙන් දියත් කළ රූපවාහිනී වැඩසටහන් මාලාවකි.

ජාතික නාලිකාවෙන් ප්‍රථම වරට හොඳම ගෙවත්ත (2008 වසරේදී) තේරීමේ දීප ව්‍යාප්ත ගෙවතු තරගාවලියක් ඇරඹිය. එහිදී තරග කණ්ඩායම් 4ක් යටතේ මෙහෙය විය.

1.හොදම තෙත් කලාපීය ගෙවත්ත

2.හොදම වියළි කලාපීය ගෙවත්ත

3.හොදම පාසැල් ගෙවත්ත

4.හොදම මහල් නිවාස වගාව

එම තරගවලියේ පළමු අධීක්ෂණ කටයුතු පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ කෘෂි විද්‍යාර්තීන් විසින්ද, අවසාන වටය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය වරුන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් තුමා සහ කෘෂි විද්‍යාඥ උදය ද සිල්වා මහාත විසින් සිදුකෙරිණි.

ජයග්‍රහණයන් සදහා වටිනා තෑගි මුදල් පිරිනැමිණි.

ඒ අනුව පළමු ස්ථානය ලබා ගත් ජයග්‍රහකයාට ස්ටර්ලින් ඔටෝමොබයිල් පෞද්ගලික සමාගම වෙතින් FAW ද්විත්ව වායුසමීකරණ වෑන් රථයක් පිරිනමන ලදී. දෙවන ස්ථානය සදහා සෙනාරෝ මෝටර්ස් වෙතින් ත්‍රීවිල් රථයක්ද තෙවන ස්ථානය සදහා අබාන්ස් වෙතින් පියාජෝ මෝටර් සයිකලයක් සහ සැනසිලි තෑගි ලෙස අබාන්ස් වෙතින් හිරෝ ස්ට්‍රිම් මෝටර්සයිකල් 20 පිරිනමන ලදි.

මහල් නිවාස සදහා ප්‍රථම ස්ථානයට මල්ලිකා හේමචන්ද්‍ර වෙතින් රු.50.000 ක චෙක්පතක් සහ සැනසිලි තෑගි සඳහා රු10000 චෙක්පත් 5ක් ලබාදෙන ලදි.

පාසල් ගෙවතු සදහා සදීපා පොත් ප්‍රකාශකයන්ගෙන් රු ලක්ෂ 5ක චෙක්පතක් හා වටිනා පොත් ලබාදෙන ලදි.මෙවන් සුවිසාල තෑගි ප්‍රමාණයක් ලබාදුන් වෙනත් කෘෂිකර්ම වැඩසටහනක් මින් පෙර රූපවාහිනි මාධ්‍ය ක්‍ෂෙත්‍රය තුළ නොතිබුණි. අනුග්‍රාහක භවතුන් පිරිසක් මෙම වැඩසටහනට අනුග්‍රාහකත්වය දැක්වීමද විශේෂයකි. තෑගි ලබාදීමට වඩා ජනතාව ගෙවතු වගාව කෙරේ අවධිගත කිරීමට හා ඊට උත්තේජනයක් සැපයීමට හැකිවීම මෙම වැඩසටහන ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. මෙම තරගාවලිය ලබාගත් ජනතා ආකර්ශනය මත එහි දෙවන අදියර 2009 වසරේදි ඇරඹිණි. මෙවැනිම ලක්‍ෂ ගණනේ තෑගි ලබාදීමට අනුග්‍රාහක භවතුන් හා එක්වෙමින් රූපවාහිනී සංස්ථාව පෙරමුණ ගත්තාය.

අසිරිමත් ගෙවත්ත, රිවිදින අරුණැල්ල, රන් අස්වනු මංගල්‍යය යන සියලු මාලා වැඩසටහන්වල අරමුණු වුයේ රටේ කෘෂි ආර්ථික පෙරළියකට සක්‍රියව හා වක්‍රාකාරව උරදීමත් ජනතා පරිභෝජනය සඳහා පවුල් ඒකකය තුළ ස්වයං පෝෂිත ආහාර රටාවක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමත්ය.

“අපි වවමු රට නගමු“ නමින් රජය දියත් කල දේශිය ආහාර දිරිගැන්වීමේ ජාතික මෙහෙයුමට පූර්වගාමි හා සමාගමී මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීම සඳහා මෙම වැඩසටහන තුළින් ඉටුවුයේ නොමද මෙහෙවරකි.

වසර 10ක් පුරා අඛණ්ඩව වැඩසටහන පවත්වාගෙන යෑමට හැකිවුයේද එහි ඇති අනම්‍ය ප්‍රේක්‍ෂක ඉල්ලුම හා එහි ඇති වැදගත්කම නිසාය.

තවදුරටත් වැඩසටහනේ මුහුණුවර හා අන්තර්ගතයේ හරබර සමබරතාවය පවත්වා ගනිමින් සෑම ඉරිදාවකම පෙරවරු 7.30 ට රිවිදින අරුණැල්ල නමින් ඔබේ ආලින්දයට පැමිණේ.